Pages

Monday, December 10, 2012

"Needy Readers"...පොත් ඇවැසි පාඨකයන් හට...



තාරුණ්යය චමත්කාරජනක වන්නේ ආදරය නිසාය. යොවුන් හදවතක උපදින ආදරය නිසා මුළු ලෝකයම සුන්දර වන බැව් නොරහසකි. ඒ ආදරය ගැන අතීතයේ සිට දහසක් ගී පද වැල් පබැදුනද, ඒටත්  වඩා සුන්දර වූ වෙනත් අයුරක ආදරයක් ගැනය, මේ කියන්නට යන්නේ. ඒ වූ කලී, යොවුන් හදවතක, සිය සහර්ද මානවයන් කෙරේ ඇතිවන දයාව මුසු වූ ආදරයයි. හඩා වැටෙන ලෝකයෙහි කදුළු වල බර දැනෙන්නට තරම් සන්වේදී වූ තරුණ හදක උපදින සහකම්පනය මුසුවූ ආදරයයි. එබදු වූ පරාර්ථකාමී ආදරයකට ලෝකයම ජීවත් කළ හැක.

කෙළිලොල් පාසල් විය නිමා කර, සරසවියට පා තබා ගෙවූ වසර කීපය තුළ මුහුකුරා ගිය අපේ සිත් වලට දැනුණේද ඊට සමාන වූ හැගීමකි. පුරා වසර කීපයක ඇවෑමෙන් සරසවි බිමට සමුදී සමාජයට පය තබන්නට සැරසෙන කාලය තුළ, මානව සන්හතිය වෙනුවෙන් අප විසින් ඉටු කළ යුතු වූ වගකීමෙහි හා යුතුකමෙහි බර දැනෙන්නට විය. මිනිස් ජීවිතයේ වසන්තය බදු වූ යවුවනය පරිපූර්ණත්වයට පත් වන්නේද එයින් බව වැටහුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි’ යන සන්කල්පය මුල්කරගෙන එකතු වූ අප එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගත්තෙමු. සමාජය වෙනුවෙන් අපේ යුතුකම් ඉටු කිරීමට සන්විධානය වීමට ඉටා ගතිමු. අන්තර්ජාතික සමාජ සන්වර්ධන සන්විධානය බිහි වූයේ එලෙසය.
සන්විධානයෙහි පලමු අදියර ලෙස අප තෝරා ගත්තේ අඩු පුස්තකාල පහසුකම් ඇති පාසල් වලට පොත් බෙදා දීමේ ව්යාපෘතියකි. “නීඩි රීඩර්ස්” (“පොත් ඇවැසි පාඨකයන් හට”) යනුවෙන් නම් කළ එම ව්යාපෘතියේ අරමුණ වූයේ, කියවීමේ පිපාසයෙන් පෙළෙන එහෙත් පොත් පත් හිග කමින් පෙළෙන් පාඨක දරුවන්ට අවශ්ය සම්පත් සපයා දීමය. ඒ අනුව කරන ලද සමීක්ෂණයකින් ඉතා අඩු පුස්තකාල පහසුකම් සහිත පාසල් කිහිපයක් තෝරා ගැණුනි. එම පාසල් වල විදුහල්පතිවරු ඇතුළු ගුරු මඩුල්ලෙන් අපට ඊට සහයෝගය ලැබුණි. ලද අවසරයෙන් සිසු දරුවන්ගේ අදහස්ද ලබා ගත්තෙමු. ඔවුන්ගේ දෙනෙත් වල දැල්වෙන බලාපොරොත්තුව දුටු විට අපේ අදිටන තවත් තර විය. පුස්තකාලයේ රාක්ක වල තවත් ඉඩ ඇත. ඒ දුටු මට ළමා කාලයේ මගේ සිහින ලෝකය වර්ණවත් කළ ටොම් සෝයර් හා ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ද, ගැටවර වියේදී මානව වේදනාව කියාදුන් බෙන්ගාලි කත්න්දරවල සිටි අපූර්වද, මගේ ලෝකයේ වීරයා බවට පත් වූ රුසියානු විප්ලව නායක පාවෙල්ද සිහිපත් විය. මගේ පෞරුෂය හා ආකල්ප ගොඩ නැන්වීමට ගුරුවරු මෙන්ම මා කියවූ පොත් පත්වල දායකත්වයද අති මහත්ය. වාසනාවකට ඊට ඇවැසි සම්පත් අපට තිබුණි. එපරිද්දෙන්ම, පුන්චි තක්සලාවේ හිද ලොකු හීන දකින පුන්චි වුන්ගේ ලෝකයද දැනුමෙන් පිරවීමට අපි ඉටා ගත්තෙමු. 

ඒ අතර තුරේදී අපට දැනගන්නට ලැබුනේ පසුගිය දිනවල ඇති වූ ගින්නකින් මැගසින් බන්ධනාගාරයේ පුස්තකාලයෙහි පොත් විශාල ප්‍රමාණයක් විනාශ වූ බවය. කියවීම සැබවින්ම මිනිසා සම්පූර්ණ කරයි. සම්පූර්ණත්වය කෙසේ වෙතත්, ජීවිත කථාවේ කිසියම් තැනක වූ වරදකින් අසම්පූර්ණත්වයට පත් බන්ධ නාගාර රැදවියන්ගේ ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් ගෙන දීම උදෙසා පුස්තකාලය නැවත පොත් වලින් පිරවීමට පොරොන්දු වුණෙමු. එනයින්, පාසල් වලට සීමා වූ අපගේ පොත් පරිත්යාග කිරීමේ වැඩ පිළිවෙල තවත් පුළුල් විය. පොත් 1500ක් එකතු කිරීම ආරම්භයේදී අපේ අරමුණ විය. එතැන් සිට ක්‍රියාත්මක වූ අප විසින් පිළියෙළ කෙරුණු දැන්වීම් මගින් අපගේ ව්යාපෘතිය පිළිබද පණිවුඩය සයිබර් අවකාශය හරහා මුදා හැරුණි. කෙතරම් හොද ක්‍රියාවක් වුවද මෙහි සාර්ථකත්වය රදා පවතිනුයේ අපට සමාජයෙන් ලැබෙන සහයෝගය අනුවය. එහෙත් ආත්මාර්ථයම මුල් කරගෙන වේගයෙන් කැරකෙන වත්මන් ලෝකය අපේ ඉල්ලීමට කන් දේවිද, ගෙන්දගම් පොළවට ළගදී පය ගැසූ නාදුනන්නන් වන අපගේ හැගීම  සමාජය හදුනා ගනීවිද යන සැකයද පටන් ගැන්මේදී හිතේ කොනක නොතිබුණාම නොවේ.

එහෙත්, ලොවේ අප හිතුවාට වඩා සුන්දර හදවත් ඇත්තන් බොහොමයක් ඇති බව අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත. දිනෙන් දින අන්තර්ජාලය හරහා ලැබුණු යහපත් ප්‍රතිචාර ඊට සාක්ෂිය. දිවයිනේ විවිධ ප්‍රදේද වලින් පරිත්යාග කරන්නන් ඉදිරිපත් විය. එසේම ඉතා කෙටි කාලයක් තුළ අපේ කණ්ඩායමට තවත් සොහොයුරු සොහොයුරියන් රැසක් එක්විය. ඔවුන්ගේ උනන්දුව අපව පුදුම කරවන සුළු විය. දිරිමත් වූ අපි සිරිලක පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන M.ඪ් ගුණසේන සමාගම, ස්. ගොඩගේ, සහ සරසවි පොත් සමාගම් හමුවූයේ අපගේ සමාජ මෙහෙවරට ගැන දැන්වීමටය. දැනුම බෙදා ගැනීමේ අපේ සත් කාර්යය ඉතා ඉහලින් අගය කළ එම සමාගම් වල විධායක මදුල්ල අපට උපරිම සහයෝගය දැක්වීය. නොබෝ දිනකින්ම, මුලදී 1500 වූ සීමාව සති කිහිපයක් ඇතුලත පොත් 5000 අභිබවා ගියේය. එසේම සැප්තැම්බර් මාසයේ බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශන භූමියටද මෙම පණිවුඩය රැගෙන ගිය අපට එහිදී හමුවූ පරිත්යාගශීලී පාඨකයෝ ප්‍රදර්ශන කුටි වලින් අළුත්ම පොත් මිලදී ගෙන දීමට තරම් කාරුණික වූහ. පොත් සන්ඛ්යාව 10,000 ඉක්මවූයේ බලා සිටියදීය. එකතු වූ අළුත් පොත් වල සුවදවත් පිටු අතරින් පාසලේ පුන්චි වුන්ගේ බලාපොරොත්තු සහගත දෑස් අපට මැවී පෙණුනි. විනාශ වූ පුස්තකාලයේ ගිනි තැබූ අකුරු වෙනුවට අළුත් පොත් වල අකුරු තුළින් ජීවිතයේ පශ්තත්තාපය සන්සිදගැනීමට බලා සිටින මැගසින් බන්ධනාගාරයේ රැදවියන්ගේ මුහුණු සිහිවිය.

පොත් එකතු කිරීමට මාස ගණනක් තිස්සේ දැරූ මහන්සිය මල්ඵල ගැන්වීම ඇරඹුනේ විශ්ව ළමා දිනයෙනි. ඒ, රාජගිරිය සිරිහද විද්යාලයේ පැවැත්වූ ළමා දින සැමරුම් උළෙළෙහිදී ප්‍රාථමික අන්ශයේ දරුවන්ට පොත් බෙදා දීමෙනි. එසේම ප්‍රාථමික පන්ති වල දරුවන් වෙනුවෙන් පැවැත්වූ චිත්‍ර තරගයකින් හොදම චිත්‍ර තෝරා ත්යාග වශයෙන් පොත් පිරිනැමුණි. ළමා දින උත්සවය ළමයින් තම සිහින ලෝක වලින් ගෙනා වර්ණයන්ගෙන් සිත්තම් විය. පුන්චි සිත්තරුන් වේදිකාවට නැග තාය ලබා ගත්තේ අපේ දෙපා අල්ලා වැදීමෙන් පසුවය. ඔවුන්ට අපව ලොකුවට පෙනෙන්නට ඇති මුත්, ඔවුන්ගේ එම ක්‍රියාව, තවමත් වැඩිහිටියන් නොවූ අපගේ හදවතේ පත්ලම ස්පර්ෂ කලේ දෙනෙතට කදුලක්ද නන්වමිනි.

දැනුම බෙදීමේ මෙහෙයුමෙහි ඊළග අදියර වූයේ හන්වැල්ල සිරි සුමන ජෝති විද්යාලයේ අප විසින්ම සන්විධානය කරන ලද පොත් ප්‍රදානෝත්සවයයි.එම උත්සවය සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව  අපේ හිතට දැනුන සතුට සහ සන්සිදීම වචන වලට හැරවීම නම් අපහසුය. මුදිතා ගුණය යනුවෙන් බුදු දහමේ හදුන්වන්නේ අන්යයන්ගේ සතුට දැක සතුටු වීමනම්, එවන් වූ ප්‍රීතියක් ඇති වන්නේ එකී මුදිතා ගුණය මුල් කර ගෙනමය. 
එසේම මෙමෙ මහගු කාර්යභාරය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය වූ සැමටම, යටත් පිරිසෙයින් එක් පොතක් හෝ පරිත්යාග කළ පාඨකයාගේ සිට, මූලයමය හා ද්‍රව්යමය අනුග්‍රහය දැක්වූ සියළුම අනුග්‍රාහක සමාගම් වලට, අපගේ පණිවුඩය සමාජයට දීමට උදව් වූ රූපවාහිනී නාලිකා හා පුවත්පත් වලට අපගේ නොමද ස්තූතිය පිරිනැමේ. එම සහයෝගය නොවන්නට, සිසුන් කිහිප දෙනෙකුගෙන් ඇරඹුණු කුඩා ප්‍රයත්නය මෙතරම් කෙටි කාලයකදී මෙවන් මහා පරිමාණයේ පොත් පරිත්යාගයක් බවට නොපෙරළෙනු ඇත. දැනට ඇති සම්පත් වලින් අපට තවත් සුවහසක් පාඨකයන්ගේ දැනුම පිපාසය සන්සිදවීමට අවස්ථාව ලැබී ඇත.
                       එසේම අපගේ මෙහෙවර සාර්ථකව නිමා කිරීම නිස ඇතිවූ ප්‍රීතිය නිස දැන් සිතේ ජනිත වී ඇත්තේ අසීමිත වූ ශක්තියකි. සහර්ද මානවයන් කෙරේ වූ අසීමත් වූ දයාවකි. තවත් මෙවැනි සමාජ සත්කාරයන් තව තවත් ඉටු කිරීමට දැඩි වූ කැමැත්තකි.ඊට අවසරයක් ලැබෙන තුරු අපි බලා සිටිමු.